Thursday, August 27, 2009

සිංහල වෙදකම සහ බුදුදහම

අපි ඉතින් තුන්වන පාන්තිකයො හන්දා ගමන් බිමන් හුගක් වෙලාවට සිද්ධවෙන්නෙ බස් වලිනුයි කෝච්චි වලිනුයි. මේවායෙ ගමන් කරනකොට වෙන අනතුරු ආපදා එමටයි. ඉතින් ඔය අතක පයක අමාරුවක් ආවහම මම ගොඩක් වෙලාවට කරන්නෙ සිංහල බෙහෙත් තමයි. ආයෙත් සුපුරුදු පරිදි එහෙම ආපු අමාරුවකට බේත් ගන්න වෙද හාමිනේ කෙනෙක් ලග‍ට ගියා. අනිත් තැන් වලට වඩා එතන මම වෙනසක් දැක්කා. ඒක හන්ද අද කතා කරන්න යන්නෙ බුදු දහම එක්ක ගමන් කරන තවත් වෙනස් මාතෘකාවක්. වෙදකම. දීර්ඝ විදිහට කියනවනම් සිංහල වෙදකම එක්ක බුදුදහමේ තියන සම්බන්ධතාවය.

අපේ සිංහල වෙදකම අවුරුදු දහස් ගනණක් පැරණියි. ඒවා රාම රාවන අතීත කතා දක්වාම දිවෙනවා. බුදුන් වහන්සෙත් වෙදකම ගැන ලෝකයාට කියල දීල තියනවා. අර කුෂ්ඨ රෝගයක් හැදිච්ච පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතා වස්තුවෙන් ඒ බව පැහැදිලි වෙනවා.

බුදුදහමයි වෙදකමයි එකිනෙක සම්බන්ධ වෙන තැන් අපේ ඉතිහාසෙ ඕනෙ තරම්. බුද්ධදාස රජ්ජුරුවො රටේ පාළකයා වගේම රටේ අග්‍ර වෛද්‍යවරයා බවට පත්වෙලා හිටියා. ඒ බුද්ධදාස පරම්පරාවෙන් පැවත එන පාරම්පරික වෙද මහත්වරු (ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරු) අදටත් අපි අතර ඉන්නවා. ඒ අතර සිංහල වෙදකම ගැන පොතින් විතරක් ඉගන ගෙන බෝඩ් ගහගෙන බඩගෝස්තරවාදීව බෙහෙත් කරන වෛද්‍යවරුත් අපි අතර ඕනා තරම් ඉන්නවා.

ඉස්සර ඉදන්ම අපේ වෙදමහත්තුරු බොහොමයක් තමන්ගෙ වෙද පරම්පරාවෙ රහස් මෙන්ම පරම්පරාව රැකගත්තෙ කවි ගාථා ශ්ලෝක වලින් වන පොත් කරල. ලේඛන කලාව දියුණු වෙනකොට සහ පරම්පරාව ඉදිරියට නොයන කොට ඒ වෙද විස්තර පුස්කොළ පොත්වල ලියන්න පටන් ගත්තා. මේ හැම දේටම බුදු දහම මෙන්ම බොදු සිරිත් විරිත් මූලික වුනා. ඒකයි වෙදකම පන්සල් තුලම වර්ධනය වුනේ.

මීට අවුරුදු දහයකට විතර කලින් මට වෙද මහත්තයෙක් මුන ගැහුනා බුලත් කොලේ දිහා බලලා ලෙ‍ඩේ විස්තර ඔක්කොම කියන. තත්කාලය නාඩි ශාස්ත්‍රය ගැන විශාරදයෙක්. නම් ගම් බෝඩ්ගහගෙන බෙහෙත් ‍දෙන කෙනෙක් නෙමෙයි. වෙන එකක් තියා අල්ලපු ගෙදර මනුසුසයා දන්නෙ නෑ තමන්ගෙ අල්ලපු වැටේ ඉන්නෙ වෙද මහත්තයෙක් කියල. අපි බුලත් අතක් දුන්නහම මේ වෙද මහත්තය එකපාරටම සංස්කෘතින ශ්ලෝකයක් කියනවා. ඊට පස්සෙ පිරිත් කිය කිය ඉන්නෙ. බෙහෙත් නියම කරනකොට ඒ බෙහෙත් තීරණය වෙන්නෙ මුලින් කියපු ශ්ලෝකය මත.

මම දැකපු ගොඩක් වෙද මහත්වරු ලෙඩාට තෙල් හො වෙනත් ප්‍රතිකර්මයක් කරන කොට පිරිත් කියනවා. සමහර වෙලාවට ඒක තමන්ට විශේෂ වෙච්ච ගාථාවක් හරි ශ්ලෝකයක් හරි. ඒ වගේම බුදු ගුණ වලින් ලෙඩුන් සුවපත් කරන පුද්ගලයන් හාමුදුරුවන් වහන්සේලා ගැන අපි නොයෙක්විට කතා බහ කරනවා. සමහර වෙලාවට 100%ක් ඇත්ත නොවුනත් කිසියම් සත්‍යයතාවයක් තියෙන්න පුළුවන්.

මම බෙහෙත් ගන්න ගිය වෙද හාමිනේ පෝය දවසටත් සිකුරාද හවස් වරුවෙත් බෙහෙත් කරන්නෙ නෑ. ඒ සිකුරාදා පල්ලි යන්න තියන නිසා. ඇත්තටම ඇය ක‍තෝලික ආගමේ. බෙහෙත් ගන්න කලින් සතියෙ ඇය දවස් තුනක් මඩුපල්ලි ගිහින් තිබුනා. ඇය තුවාල අතකට තෙල් තවරන කොට මොනවදෝ මතුරනවා මම දැක්කා. මගේ හිතේ පුංචි නෙමෙයි ලොකු කුතුහලයක් පැන නැංගා. මම ඇයට බුලත් කොළයත් එක්ක පඩුරු දෙන විට ඇය කරුණා බරව මට පැවසුවේ සුවපත්වේවා කියලයි. බෙහෙත් තෙල් ගානවිට ඇය මුමුනන්නේ කුමක්දැයි මට ඇසුනා. මගේ කුතුහලයට මම තිත තැබුවා. අනේක ජාති සංසාරං....... ඉදල බුදුගුණ සියල්ල ඇය කැටි කොට පැවසුවා.... ඒ බුදු ගුණ බලයෙන් මගේ ඇගේ ඇති සියළුම අස්ථි නහර මස් වල ලෙඩ රෝග නිවාරණය වන්නට ඇය ප්‍රාර්ථනා කලා.

බුදු දහමත් වෙදකමත් අතර සම්බන්ධය හොදින් පැහැදිලි වුනා...

Monday, August 17, 2009

පිරිත් සහ පාළි

පහුගිය කාලෙම කිසිම බ්ලොග් එකකට සටහනක් ලියාගන්න බැරුවයි හිටියෙ. ඒ තරම් වැඩ වැඩියි. පසුගිය සතියෙ ආයෙත් වතාවක් බුදුන් වැඩහිටි දේශය‍ට (රාජකාරි) යන්න හම්බ වුනා. ඒ ගිය විස්තර පස්සෙ කියන්නම්. කාලෙකට පස්සෙ වැදගත්වෙන මාතෘකාවක් කතා කරන්න හිතුවා. ඒ තමයි නිතරම ඇහෙන පිරිත් ගැන.

ඕනැම රූපවාහිනි වේවා ගුවන් විදුලි වේවා නාලිකාවක් තමන්ගේ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නෙ පිරිත් දේශණාවකින් පසුවයි. පන්සල් විහාර වල හිමිදිරි උදයේ පිරිත් සජ්ජායනාවන් ඇසෙන්නට කටයුතු යොදා තියනවා. ඇත්තෙන්ම මේ පිරිත් මෙහෙම අහන්නට වි‍ශේෂ හේතුවක් තියනවා. ඒ මේ පිරිත් වල විශාල බලයක් ගැබ්වෙලා තියන හන්දයි.

පිරිතක් කියන්න කලින් වතුර කළයක් පිරිත් මණ්ඩප්පය ඇතුලෙ තියනවා. අපි ඒ වතුර තමයි පිරිත් පැන් හැටියට පිරිත අවසානයේ පානය කරන්නෙ. පිරිත් සඣ්ඣායනාව අවසානයේ ඔය කළයේ ඇති පැන් උතුරා යා යුතුයි කියල මතයක් අප අතර තියෙනවා. බොහෝ අවස්ථාවල එසේ සිදුවනවා මම දැකල තියනවා. පිරිතක් කියන කොට ඇතිවන ශබ්ද තරංග කළයේ ඇති ජල අණු සමග අනුනාද වෙලා ජල අණු ප්‍රසාරනය විමක් මෙතනදි සිද්ධ වෙනවා. (හරියටම වෙන්නෙ මේ වගේ දෙයක් වුනාට මම පාවිච්චි කරල තියන වචන නම් හරිද මන්දා. මොකද දැන් උසස් පෙළ ඉවරකරල අවුරුදු ගානක් වෙනවා. ලොජික් ඔළුවෙ තිබ්බට වචන මතක නෑනෙ ) ඔය මොකක් හරි කොහොම හරි එහෙම වෙනවා.ඉතින් ඒ පිරිත් පැන් වලත් සාමාන්‍යය ජලයට වඩා වැඩි ශක්තියක් තියනවා. පිරිත් නූල් ගැන නම් මට විද්‍යාත්මකව පහදන්න අමාරුයි. (මොකද මම ඒ ගැන හරියට දන්නෙ නැති හන්ද)

ඉතින් මම මේ කියන්න යන්නෙ මෙච්චර බලයක් තියන පිරිත් ඇයි අපිට තේරෙන්නෙ නැත්තෙ. මූලිකම හේතුව තමයි පිරිත් තියෙන්නෙ සිංහලෙන් නොවීම. පිරිත් විතරක් නෙමෙයි. අඩුම තරමෙ පන්සිල් වත් සිංහලෙන් නෑ. පොඩිකාලෙ ඉදන් දන්න හන්ද ඔහේ කියවනවා. හැමෝම පාලි සංස්කෘත දන්නෙ නැති හන්ද ඊට වඩා අඩු මට්ටමක් සලකල බලමු. දහම් පාසලේ පාලි උගන්වන්න පටන් ගන්නෙ හය වසරෙදි විතර (ඒ කාලෙ. දැන්නම් දන්නෙ නෑ) අවසාන විභාගෙ වෙනකොටත් යන්තම් පාළි පාඨයක් සිංහලයට පෙරල ගන්න පුළුවන්. හැබැයි ඒකත් අමාරුයි.

ඔය විදිහට අපි බුදුදහම ගැන හිතුවොත් මුළු බුදුදහමම තියෙන්නෙ පාලියෙන්. එතකොට සූත්‍ර පිටකය අභිධර්ම පිටකය විනය පිටකය වගේ බුදුදහමේ මූලික අවස්ථාවන් පරිවර්තනය කරන්න ගියොත් කොච්චර කාළයක් ගතවෙයිද? කියන ප්‍රශ්නෙ අපිට එනවා. අනෙක පරිවර්තනයක් ගත්තොත් පුද්ගලයාගෙන් පුද්ගලයාට පරිවර්තන හැකියාව වෙනස්. එකම පොතක පරිවර්තන දෙකක් ගත්තොත් එක විදිහ‍ට නෑනෙ. මක්සිම් ගෝර්කිගෙ අම්මා පොතේ පරිවර්තන දෙකක් මම කියවලා තියනවා. සමහර අවස්ථාවල අවස්ථාවට දීපු අර්ථකතනත් වෙනස්.

පාලි කියන තනි භාෂාවෙන් පරිවර්තනය වුනත් වෙන්නෙ ඔය හා සමාන දෙයක්. බුදුන් වහන්සේ දේශනා කරපු නිර්මල බුදු දහම විනාශ වෙන්න පටන් ගන්න එක තමයි වෙන්නෙ. ඔය විදිහට පරිවර්තනය කරපු පිරිත් දේශණාවක ශබ්ද ශක්තිය අඩංගු වෙයිද?

ඔය මේ ප්‍රශ්නෙ එක පැත්තක්. කාට හරි කියන්න පුළුවන් ඇයි අපි නොදන්න දෙයක් විස්වාස කරන්නෙ කියල. ඇත්ත. හැම දේම සිංහල හුරුවට හදාගන්න අපිට මේක හරිම ප්‍රශ්නයක්. මොනව කරන්නද? විසදුමක් අවශ්‍යයි තමා. ඒක හන්දා පසුගිය කාලෙ අපේ විද්වතුන් පිරිසත් මේ වෙනුවෙන් කතිකාවතක් ගොඩනල තිබ්බා. මෙතනදි මම ඉදිරිපත් කරන‍්නෙ මගෙ පුද්ගලික මතයයි. නොහොත් මට හරි යයි හැගෙන දෙයයි. අවුරුදු සිය ගානක් තිස්සෙ අපි පාවිච්චි කරන රෝම ලන්දේසි නීතිය ගැන දන්නෙ නීතිඥයො විතරයි. අදටත් ඒ ගැන තියන සම්මුතියක් (Agreement) එකක් කියවන්න අපිට පුළුවන්ද? හුගක් ඒවා තියෙන්නෙ රෝම භාෂාවෙන්. ඉතින් මේ අවස්ථා දෙකම එකක් හැටියට අරගෙන පිරිත් පාලිවලින් ඇති එක සාධාරණිකරනය කරන්න පුළුවන් නේද?

මෙතනදි ඔයගොල්ලන්ට මේක වැරදියි කියල හිතෙනවනම් ඔයගොල්ලන්ගෙ අදහස ගොනුකරන්න. මේ බ්ලොග් සටහන විසිඑක් වන සියවසේ බුද්ධිමත් බෞද්ධයන් වෙනුවෙන්.