Sunday, January 10, 2010

මඩකඩ අරණ්‍යය සේනාසනය

මේ දවස් වල හම්බවෙච්ච විවේකය වැදගත් විදිහට යොදවා ගන්න අවස්ථාවක් පහුගිය දවසක මට උදාවුනා. ඒක හන්ද කොළඹින් ටිකක් දුරට වෙන්න ඒත් බස්නාහිර පලාතෙම තියන මඩකඩ අරණ්‍යය සේනාසනයට හිත නිවෙන චාරිකාවක් යොදාගත්තා. කොළඹින් කිලෝමීටර් 50ක් විතර ඈතින් පිහිටල තියන මඩක‍ඩ ආරණ්‍යය හුගදෙනෙක් දන්නෙ නාච්චිමලේ නමින්. නම අහපු ගමන් තරුණ අය නම් දන්නවා ඇති. මොකද ගොඩක් තරුණ පිරිස් එක් දින විනොද චාරිකා යන්න එහෙම යොදාගන්න තැනක් නිසා.

කොළඹ ඉංගිරිය පාරෙන් හැරිල ටිකක් විතර දුෂ්කර පාරක කිලෝමීටර් දෙක හමාරක් විතර ගියහම තමයි මේ ආරණ්‍යය හම්බ වෙන්නෙ. හුගක් නිස්කලංක පෙදෙ‍සක පිහිටල තියන හන්ද භාවනා කටයුතු උදෙසාත් මේ ආරණ්‍යය වෙන් කරල තියනවා. වක් ඔයට වැටෙන සුන්දර දොළ පහරක් යන එන හැම සිත් සමාධිගත කරනවා. දොළ පහරෙන්, කුරුල්ලන්ගෙන් ඇතිවන ශබ්දය ඇරුනහම වෙන සද්ද එනවානම් ඉතින් යන එන අය කරන සද්ද තමයි. ඒ දුෂ්කර මාර්ගයේ වාහනයකින් යන්න පුළුවන් ටික ඉවර වුනහම පයින් ගමන් කරන්නත් කොටසක් තියනවා. මේ කොටස මීටර් පන්සීයක් විතර ඇති. ස්වභාව සෞන්දර්යයයෙන් අනූන වන පෙදෙසක් මැදීන් ගමන් කරන්න තියන හන්ද කිසිම මහන්සියක් නැතුව ඒ දුර තරණය කරන්න පුළුවන්.

ආරණ්‍යයට ඇතුල් වෙන තැන ඉදන් උපදෙස් සහිත (ආරණ්‍ය තුල හැසිරිය යුතු ආකාරය සහ ජීවිතයට බුදු දහමෙන් ලබාගත හැකි) වාක්‍යය ඇතුලත් පුවරු එහි ප්‍රදර්ශනය කරල තියෙන්න විශේෂයෙන් එහි එන තරුණ පිරිස් ඉලක්ක කරගෙනයි.

නිහඩ නිසංසල පරිසරය ඇතුලෙ සිමෙන්තියෙන් කළ නිර්මාණ ඔක්කොම ස්වාභාවිකත්වය රැකෙන පරිදි කරල තිබුනා. අලංකාර බුදුකුටියක්, බෝධි වෘක්ෂයක් ඇටසැකිල්ලක් සහිත කුටියක් චෛත්‍යය රාජයෙක් භාවනා කුටි සක්මන් මළුව ආදියෙන් මඩකඩ අරණ්‍යය සමන්විතයි.

අරණ්‍යය ඇතුලෙ දැක්ක තවත් දෙයක් තමයි තරුණ භික්ෂුන් සහ තරුණ ගිහි උපාසක පිරිස්. සුදු සරම් සහ සුදු කමිස ඇදගත් මේ පිරිස කසා වත් ඇදි හාමුදුරුවන් වහන්සේ තරම් ප්‍රසන්නයි. ජීවිතයේ අනිත්‍යය බව මෙනෙහි කරන්න ඒවාගේ නිස්කලංක තැනක් තවත් නැතුව ඇති. අරණ්‍යය ඇතුලේ දහම් පාසලක්. අපි යන දවසේ ඒ පොඩි ඇත්තතො සිල් සමාදන් වෙලා.

නිවාඩු දවසක් හන්ද තරමක පිරිසක් එකතුවෙලා හිටියා. කලිනුත් කිව්ව වගේ තරුණ පිරිස් බොහෝයි. පරිසරයේ නිහඩ තාවය බින්ද ඔවුන් මතෙහි ගැලෙමින් ගී කියමින් විනොද වුනා. කිසියම් දෙයක සීමාවක් තිබිය යුතුයි. නමුත් ඒ සීමා ඉක්මවා යමින් ඔවුන් හිස් බෝතල් ගල්පර වල ගසා කුඩුකර තිබ්බා. සීතල දියපහරේ සුන්දරත්වය විනාශ වෙලා ගිහින් තිබ්බා.

තවත් ගොඩක් ඡායාරූප තිබ්බා. පෝස්ට් කරන්න තියන අපහසුව හන්දා ටිකක් විතරක් දැනට දෙන්නම්.