Thursday, August 27, 2009

සිංහල වෙදකම සහ බුදුදහම

අපි ඉතින් තුන්වන පාන්තිකයො හන්දා ගමන් බිමන් හුගක් වෙලාවට සිද්ධවෙන්නෙ බස් වලිනුයි කෝච්චි වලිනුයි. මේවායෙ ගමන් කරනකොට වෙන අනතුරු ආපදා එමටයි. ඉතින් ඔය අතක පයක අමාරුවක් ආවහම මම ගොඩක් වෙලාවට කරන්නෙ සිංහල බෙහෙත් තමයි. ආයෙත් සුපුරුදු පරිදි එහෙම ආපු අමාරුවකට බේත් ගන්න වෙද හාමිනේ කෙනෙක් ලග‍ට ගියා. අනිත් තැන් වලට වඩා එතන මම වෙනසක් දැක්කා. ඒක හන්ද අද කතා කරන්න යන්නෙ බුදු දහම එක්ක ගමන් කරන තවත් වෙනස් මාතෘකාවක්. වෙදකම. දීර්ඝ විදිහට කියනවනම් සිංහල වෙදකම එක්ක බුදුදහමේ තියන සම්බන්ධතාවය.

අපේ සිංහල වෙදකම අවුරුදු දහස් ගනණක් පැරණියි. ඒවා රාම රාවන අතීත කතා දක්වාම දිවෙනවා. බුදුන් වහන්සෙත් වෙදකම ගැන ලෝකයාට කියල දීල තියනවා. අර කුෂ්ඨ රෝගයක් හැදිච්ච පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතා වස්තුවෙන් ඒ බව පැහැදිලි වෙනවා.

බුදුදහමයි වෙදකමයි එකිනෙක සම්බන්ධ වෙන තැන් අපේ ඉතිහාසෙ ඕනෙ තරම්. බුද්ධදාස රජ්ජුරුවො රටේ පාළකයා වගේම රටේ අග්‍ර වෛද්‍යවරයා බවට පත්වෙලා හිටියා. ඒ බුද්ධදාස පරම්පරාවෙන් පැවත එන පාරම්පරික වෙද මහත්වරු (ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරු) අදටත් අපි අතර ඉන්නවා. ඒ අතර සිංහල වෙදකම ගැන පොතින් විතරක් ඉගන ගෙන බෝඩ් ගහගෙන බඩගෝස්තරවාදීව බෙහෙත් කරන වෛද්‍යවරුත් අපි අතර ඕනා තරම් ඉන්නවා.

ඉස්සර ඉදන්ම අපේ වෙදමහත්තුරු බොහොමයක් තමන්ගෙ වෙද පරම්පරාවෙ රහස් මෙන්ම පරම්පරාව රැකගත්තෙ කවි ගාථා ශ්ලෝක වලින් වන පොත් කරල. ලේඛන කලාව දියුණු වෙනකොට සහ පරම්පරාව ඉදිරියට නොයන කොට ඒ වෙද විස්තර පුස්කොළ පොත්වල ලියන්න පටන් ගත්තා. මේ හැම දේටම බුදු දහම මෙන්ම බොදු සිරිත් විරිත් මූලික වුනා. ඒකයි වෙදකම පන්සල් තුලම වර්ධනය වුනේ.

මීට අවුරුදු දහයකට විතර කලින් මට වෙද මහත්තයෙක් මුන ගැහුනා බුලත් කොලේ දිහා බලලා ලෙ‍ඩේ විස්තර ඔක්කොම කියන. තත්කාලය නාඩි ශාස්ත්‍රය ගැන විශාරදයෙක්. නම් ගම් බෝඩ්ගහගෙන බෙහෙත් ‍දෙන කෙනෙක් නෙමෙයි. වෙන එකක් තියා අල්ලපු ගෙදර මනුසුසයා දන්නෙ නෑ තමන්ගෙ අල්ලපු වැටේ ඉන්නෙ වෙද මහත්තයෙක් කියල. අපි බුලත් අතක් දුන්නහම මේ වෙද මහත්තය එකපාරටම සංස්කෘතින ශ්ලෝකයක් කියනවා. ඊට පස්සෙ පිරිත් කිය කිය ඉන්නෙ. බෙහෙත් නියම කරනකොට ඒ බෙහෙත් තීරණය වෙන්නෙ මුලින් කියපු ශ්ලෝකය මත.

මම දැකපු ගොඩක් වෙද මහත්වරු ලෙඩාට තෙල් හො වෙනත් ප්‍රතිකර්මයක් කරන කොට පිරිත් කියනවා. සමහර වෙලාවට ඒක තමන්ට විශේෂ වෙච්ච ගාථාවක් හරි ශ්ලෝකයක් හරි. ඒ වගේම බුදු ගුණ වලින් ලෙඩුන් සුවපත් කරන පුද්ගලයන් හාමුදුරුවන් වහන්සේලා ගැන අපි නොයෙක්විට කතා බහ කරනවා. සමහර වෙලාවට 100%ක් ඇත්ත නොවුනත් කිසියම් සත්‍යයතාවයක් තියෙන්න පුළුවන්.

මම බෙහෙත් ගන්න ගිය වෙද හාමිනේ පෝය දවසටත් සිකුරාද හවස් වරුවෙත් බෙහෙත් කරන්නෙ නෑ. ඒ සිකුරාදා පල්ලි යන්න තියන නිසා. ඇත්තටම ඇය ක‍තෝලික ආගමේ. බෙහෙත් ගන්න කලින් සතියෙ ඇය දවස් තුනක් මඩුපල්ලි ගිහින් තිබුනා. ඇය තුවාල අතකට තෙල් තවරන කොට මොනවදෝ මතුරනවා මම දැක්කා. මගේ හිතේ පුංචි නෙමෙයි ලොකු කුතුහලයක් පැන නැංගා. මම ඇයට බුලත් කොළයත් එක්ක පඩුරු දෙන විට ඇය කරුණා බරව මට පැවසුවේ සුවපත්වේවා කියලයි. බෙහෙත් තෙල් ගානවිට ඇය මුමුනන්නේ කුමක්දැයි මට ඇසුනා. මගේ කුතුහලයට මම තිත තැබුවා. අනේක ජාති සංසාරං....... ඉදල බුදුගුණ සියල්ල ඇය කැටි කොට පැවසුවා.... ඒ බුදු ගුණ බලයෙන් මගේ ඇගේ ඇති සියළුම අස්ථි නහර මස් වල ලෙඩ රෝග නිවාරණය වන්නට ඇය ප්‍රාර්ථනා කලා.

බුදු දහමත් වෙදකමත් අතර සම්බන්ධය හොදින් පැහැදිලි වුනා...

No comments:

Post a Comment